පරිගණක මෘදුකාංග හා සබැදි නීතිය
පරිගණක මෘදුකාංග පිළිබද නීතිය මගින් එකී මෘදුකාංග දේපලවලට රැකවරණය ලබා දෙයි. මේ සඳහා විවිධ රටවල පේටන්ට් බලපත්‍ර ලබාදීම තුළින් මෙන්ම බුද්ධිමය දේපළ නීතිය මගින් ද වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ බොහෝ වාණිජ මෘදුකාංග ඒ පිළිබඳව බලපත්‍ර (software licensce) මගින් අනාවරණය කර තිබේ.
පේටන්ට් බලපත්‍ර මගින් මෘදුකාංගවල සැලසුම් හා යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අනාවරණය වෙයි.කර්තෘත්ව අයිතිය යටතේ මෘදුකාංගවලට අදාල තොරතුරු අඩංගු පොත්, පටිගත කල දත්ත ආදිය බෙදා හැරීම් වාරණය කරයි. එසේම මෘදුකාංග මෙනුපතද එමගින් සුරැකේ. එකී පරිගණක මුකාංගවල විශේෂිත ලක්ෂණය වන්නේ. ඒවායේ ක්‍රියාකාරීත්වයට අදාළ සලසුම් පැවතීමත් දත්ත සැලැස්මක් පැවතීමත් යන ද්වී ලක්ෂණ වලින් සමන්විත වීමයි. එමනිසා එකී මෘදුකාංගවල රැකවරණයට පේටන්ට් නීතිය මෙන්ම කතෘත්වය අයිතිය පිළිබඳව බුද්ධිමය දේපළ නීතියද ඒකාකාරව වැදගත් වේ.
මෙහිදී පේටන්ට් බලපත්‍ර නීතියෙහි රැකවරණය පරිගණක මෘදුකාංග වලට ලැබෙන්නේ සෑම මෘදුකාංගයක් පිළිබඳවම සැලසුම්වලට පවා පේටන්ට් අයිතියක් ලබා ගැනීම මගිනි. එහෙත් මෙහිදී ගැටලුවක් මතුවේ. එනම් මෘදුකාංගවල තාක්ෂණික පැත්ත පිළිබඳව පේටන්ට් අයිතියක් තිබේද නැද්ද යන්න නිශ්චිතව අනාවරණය කරගැනීම දුෂ්කර වන හෙයිනි. අනාගත නීති වර්ධනය තුළ මෘදුකාංගවල එකී අංශයටද නීතියේ රැකවරණය ලබා ගැනීමට හැකි වනු ඇති බවට නීති විශාරදයෝ විශ්වාසය පළකරති.
පරිගණක මෘදුකාංග කොල්ලකෑම(software piracy) හෙවත් අවසර නොලත් අනුපිටපත්කරණය ( unauthorised duplication) වැළැක්වීමට කතෘත්ව අයිතිය පිළිබඳව නීති උපකාරී වී තිබේ. පරිගණක මෘදුකාංග පිළිබඳ නීතියෙහි එන කතෘත්ව අයිතිය ක්‍රියාත්මක වීමේ දී එය පොතක්, ඡායා පිටපතක් කිරීම හෝ මුල් පොතට අදාල මාතෘකාවෙන් තවත් පොතක් ලිවීම හෝ එවැනි බුද්ධිමය දේපල නීතියෙහි එන කතෘත්ව අයිතිය උල්ලංඝනය කිරීමට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මන්ද මෘදුකාංගවල තාක්ෂණික ප්‍රදේශයක් ද පවතින බැවිනි. මෙවැනි හේතු නිසාම යුරෝපා පාර්ලිමේන්තු වර්ෂ 2005 පෙබරවාරි මාසයේ දී එයට ඉදිරිපත් වූ යුරෝපා පරිගණක මෘදුකාංග පිළිබඳ පනත සම්මත නොකර නැවත එහි තාක්ෂණික පැත්ත පිළිබඳව වැඩි අවධානයක් යොමුකර සංශෝධනය කර එවන ලෙසත් මෘදුකාංග හා සබැඳි ඉහළ පෙළේ තාක්ෂණික ආයතන වල විශේෂඥ මතද ඊට උපයෝගී කරගන්නා ලෙසත් නියම කර ඉවත දමන ලදී.
Baker Vs Seldon 101 U.S 99 (1879) නඩුවේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ පරිගණක මෘදුකාංග කර්තෘත්ව අයිතිය සම්බන්ධයෙන් වැදගත් මග පෙන්වීමක් ලබා දී ඇත. මෙහිදී තීන්දු කෙරුණේ විශේෂිත ආකාරයට පාඩම් පොතක ගණකාධිකරණයේ ව්‍යුහය විස්තර කෙරෙන අයුරින් කතෘත්වය අයිතියේ රැකවරණය අනුකූල කරගත නොහැකි බවයි. පොතක විස්තර කෙරෙන කළාව විශේෂයෙන්ම කතෘත්ව අයිතියේ වන්දිලබාගැනීමේ පදනම සපයන්නේ නැත. මෙහිදී රැකවරණය ලබා දිය හැක්කේ අදාළ අරමුණ විස්තර කිරීම සිදු කර ඇති ආකාරයට බවද මෙහිදී වැඩි දුර තීරණය කරන ලදී .
ශ්‍රී ලංකාවේ පරිගණක මෘදුකාංග හා සබැදි නීතියට අදාලව වැදගත් වන නඩුතීන්දු දෙකක් පිළිබඳව මෙහිදී අපගේ අවධානය යොමු විය යුතුය.Soft systems Pvt Ltd Vs Visual tech Microsystems (Pvt) Ltd (Hc/Civil/08/2001(3) දරණ වාර්තාගත නොවූ පරිගණක මෘදුකාංග හා සබැදි මෙම නඩුවේ දී සලකා බැලුණු 1979 අංක 52 දරන බුද්ධිමය දේපළ පනතට වසර 2000 අංක 40 දරණ සංශෝධන පනතින් එක්වූ ප්‍රතිපාදනවලට අදාළව පරිගණක මෘදුකාංගවල කතෘත්ව අයිතිය පිළිබඳවයි.
ඉන්දීය සමාගමක් වූ මෙම නඩුවේ පැමිණිලිකරු 2001.05.09 වන දින ඉදිරිපත් කළ සිය පැමිණිල්ලෙන් කියා සිටියේ වෙනත් ඉල්ලීම් අතර විත්තිකාර සමාගමේ HARVEST it වෙළඳ ලකුණ දරණ හෝ VES-AGRI දරණ පරිගණක වැඩසටහන් හෝ මෘදුකාංග හෝ ඉන් කොටසක් හෝ සෘජුව හෝ වක්‍රව භාවිත කිරීමෙන් වළක්වාලන ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එවකට බස්නාහිර පළාතේ සිවිල් මහාධිකරණ විනිසුරු ගරු එල්.කේ විමලචන්ද්‍ර මැතිතුමා ඉදිරියේ විභාග වුණු මෙම නඩුවේ කරුණු වලට අනුව පැමිණිලිකාර සමාගමේ සේවය කරමින් සිට ඉන් ඉවත් වී විත්තිකාර සමාගමට ගිය තැනැත්තකු විසින් මෙම කතෘ අයිතිය උල්ලංඝනය කෙරෙන කටයුතු සිදුකරන්නට ඇති බව පැමිණිල්ලෙන් කියා සිටියේය. මෙහිදී අදාළ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලදී .මෙම වාරණ ආඥාව වසර දෙකක් පුරා පැවැත්වුණු අතර නඩු විභාගය හා විමසීම එකවිට ගන්නා ලදී. පසුව පැමිණිලිකාර සමාගම නඩුව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම නිසා පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලද අතර විත්තිකාර සමාගමේ හරස් ඉල්ලීම විභාගයට ගැනීමට නියම කරන ලදී.
Seven Seas Computer Lanka (Pvt) Ltd Vs Q Soft (Pvt) Ltd and 22 others ( HC/Civil/18/2001 (3) වාර්තාගත නොවූ පරිගණකයක මෘදුකාංග හා වෙළෙඳ රහස් පිළිබඳව වූ නඩු තීන්දුවක් වූ මෙහිදී පැමිණිලිකරු 2001.10.04 වන දින ගොනුකළ පැමිණිල්ලෙන් කියා සිටියේ තමාට අයත් පරිගණක මෘදුකාංග වැඩසටහන් විත්තිකරුවන් විසින් භාවිත කිරීමෙන් සිය කතෘ අයිතිය උල්ලංඝනය කිරීමක් සිදු වන බවත්, එමගින් අසාධාරණ වෙළඳ තරඟයක් සිදුවන බවත්ය . ඒනිසා එකී ක්‍රියාවන් මෙම නඩුව අසා නිම කරන තෙක් වාරණ නියෝගයකින් හා අතුරු තහනම් නියෝගයකින් වළක්වාලන ලෙසත් වැඩිදුරටත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි .
මෙම නඩුවට අදාළ පැමිණිලි පාර්ශවය කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව 2001.10.08 වැනි දින අධිකරණය විසින් වාරණ නියෝගයක් විත්තිකරුවන්ට එරෙහිව නිකුත් කරනලදී. ඉනික්බිතිව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අධිකරණය විසින් 2011.11.05 වන දින විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලිකරුගේ පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිතා කිරීම හා වෙළෙඳරහස් භාවිතා කිරීම මෙම නඩුව අසා නිමවනතෙක් වළක්වන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී. එසේම විභාගයට ද නියම කෙරිණි.
මෙම විෂය ක්ශේෂ්ත්‍රය හදාරන්නෙකුට දැනුම වර්ධනයට මෙය රුකුලක් වේ යැයි මම සිතමි .
මෙම සටහනේ මුල්පිටපත් හිමි
(පරිගණක හා අන්තර්ජාල නීතිය)
(නීතිඥ කපිල ගාමිණී හේරත් )
මහතා සතු වේ.
-දිලේෂිකා එරංගි-